Tuesday, September 8, 2009

පර්සි මහත්තයා එතුමාට අභිමුඛ වෙයි


සති ගණනක් ආ ගිය අතක් නැතිව සිටි පර්සි මහත්තයා හිටි හැටියේ අපේ නිවසට ගොඩ වැදුණේ තනිවම නොව විශාල සේනාවක් ද පිරිවරාගෙන ය.

''මොකද පර්සි මහත්තයා දකුණෙ ඡන්දෙට කැන්වසින් යනවා වත් ද? ” චූටි මල්ලි ඇසීය. ''පිස්සුද අයිසෙ, බලනවා මේ රටේ තියෙන ප‍්‍රශ්න දිහා. එහෙන් චිත‍්‍රපටි තහනම් කරනවා, මෙහෙන් මාධ්‍යවේදීන්ට පහර දෙනවා, තව පැත්තකින් පොලිසියෙන් මිනිස්සුන්ට ගහනවා, මරනවා. අරහෙ අවතැන් කඳවුරුවල මිනිස්සු අපා දුක් විඳිනවා. මේ වගේ තත්ත්වයක් යටතේ වාමාංශිකයන් වශයෙන් අපට නිකං බලා ඉන්න පුළුවන් ද?” පර්සි මහත්තයා විමසීය.

අන්තිමේදී පර්සි මහත්තයාත් නියම ට‍්‍රැක් එකට වැටී ඇතැයි සිතූ මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. '' යාන්තම් ඇති පර්සි මහත්තයාටත් ඇහැරුණා. ඕක තමයි අපි දිගටම කිව්වෙ. ඉතිං මේ උද්ඝෝෂණයක් වත් කරන්නද යන්නේ ? ” මම ඇසුවෙමි.

''තමුසෙට පිස්සුද අයිසෙ, ඒ වගේ වැඩක් කළාම ඒකේ වාසිය යන්නේ යූ.ඇන්.පී. එකටනේ. මේව මේ පොදු ජන ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න ඒකෙ ඇතුළෙ ඉන්න කඩාකප්පල්කාරීන් කරන වැඩ. අපි යන්නේ එතුමා හම්බ වෙලා කෙළින්ම ප‍්‍රශ්නය එතුමාට අභිමුඛ කරන්න. එතකොට එතුමාට සිද්ධ වෙනවා හරි උත්තරයක් දෙන්න.” පර්සි මහත්තයා කී විට, පරිවාර සේනාවද හිස් වනා ඒ කතාව එක හෙළා අනුමත කළහ.

බලාගෙන යනකොට එතනත් නැති කෙනෙක් නැත. කලාකරුවෝ, මාධ්‍යවේදියෝ, වෘත්තීය සමිති නායකයෝ, සිවිල් සමාජ කට්ටිය, වාමාංශිකයෝ පිරිලා ඉතිරිලාය. ''තමුසෙත් එනවද යන්න” කියා පර්සි මහත්තයා මටත් ආරාධනා කළ හෙයින් මමත් ‘ ඕනෑ එකක් ’ කියා ඒ සේනාවට ම එකතු වුණෙමි.

***************

එතුමා අප සියළු දෙනාම පිළිගෙන පර්සි මහත්තයාගේ කරටත් අතක් දමාගෙන

''මොකෝ පර්සි, හදිස්සියෙම මේ පැත්තට අවේ ?” කියා ඇසීය. ''නෑ, සර්, අපට ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා ඔබතුමාට අභිමුඛ කරන්න තමයි අපි ආවේ.” පර්සි මහත්තයා කීවේය. පර්සි මහත්තයා වැනි අය ගැන හොඳින් හදාරා ඇති එතුමා ‘දෙන්නං පුතෝ උඹට හොඳ අභිමුඛවීමක් ’ කියා හිතාගෙන ''ඔව් කියන්න බලන්න” කියා කීවේය.

''වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපට තහනම් කිරීමේ ආණ්ඩුවේ තීරණයෙන් කලාවට මරු පහරක් වදිනවා. ඔබතුමා අපට කියනවද මොනවගේ චිත‍්‍රපටද අපි හදන්න ඕනෑ කියලා.” එවිට කලාකරුවෙක් විමසීය.'' නෑ, නෑ, එහෙම තීරණයක් නැහැ. කලාත්මක චිත‍්‍රපටවලට කිසි තහනමක් නැහැ. අපි තහනම් කරන්නේ අසභ්‍ය චිත‍්‍රපට විතරයි.” එතුමා කීය.''එතකොට මේ මාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු දමලා සිරගෙට යැවීම නවත්වන්නත්, මාධ්‍යවේදීන්ට ආරක්ෂාව ලබාදෙන්නත් පියවරක් ගන්න බැරිද ? ” මාධ්‍යවේදියෙක් ඇසීය.''මාධ්‍යවේදීන්ට කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. දේශද්‍රෝහී කටයුතු වල යෙදිච්ච මාධ්‍යවේදීන්ට විරුද්ධ ව විතරයි නඩු දාන්නේ, හරිය?” එතුමා ඒ ප‍්‍රශ්නය ද විසඳුවේය.''එතකොට මේ පොලිස් අත්අඩංගුවේ ඉන්න සැකකරුවන් මිය යාම පිළිබඳ ප‍්‍රශ්නයට ඔබතුමාගෙ මැදිහත්වීමක් අවශ්‍යයි.” කියා කීවේ මානව හිමිකම් ගැන වැඩ කරන බව කියන සිවිල් සංවිධාන නායකයෙකි.''පොලිසියෙන් මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. පොලිසිය මර්දනය කරන්නෙ ත‍්‍රස්තවාදීනුයි, පාතාල කල්ලියි විතරයි.” එතුමා කීවේ පර්සි මහත්තයා දෙස ද බලමිනි.''දැන් හරිනේ, මීට පස්සෙ තහනම් කරන්නේ අසභ්‍ය චිත‍්‍රපටි විතරයි ; හිරිහැර සිදුවෙන්නේ දේශද්‍රෝහී කටයුතු වල යෙදෙන මාධ්‍යවේදීන්ට විතරයි; අත් අඩංගුවේදී මිය යන්නෙ ත‍්‍රස්තවාදීනුයි, පාතාලයොයි විතරයි. කාටහරි අසභ්‍ය චිත‍්‍රපට වෙනුවෙන් හරි, දේශද්‍රෝහීන් වෙනුවෙන් හරි, පාතාලයන් වෙනුවෙන් හරි පෙනී සිටින්න ඕනද ?” පර්සි මහත්තයා ඇසීය. සභාව නිහඬය.ප‍්‍රශ්න සියල්ල ම විසඳුනු නිසා සභාතොමෝ සතුටින් විසිර ගියහ.