Thursday, November 19, 2009

පොදු අපේක්ෂකයා

පර්සි මහත්තයා පොත් කියවයි; ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වෙයි. මේ ලක්ෂණ එකක්වත් ඇති කෙනෙක් අපේ අහල ගම් හතකින් වත් සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරුය. ඒ නිසා පර්සි මහත්තයා ට ගමේ මිනිස්සු කියන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පහුගිය සති කීපයේම ආගිය අතක් නැතිව සිටි පර්සි මහත්තයා හදිසියේ ම අපේ නිවසට ගොඩවැදුණේ මහත් උජාරුවෙනි.
”මොකද පර්සි මහත්තයා පහුගිය කාලෙ දකින්න හිටියෙ නැත්තෙ. සහන ගම්මාන බලන්නවත් ගියාද ? ” චූටි මල්ලි කතාවට මුල පිරුවේය.
සුර-අසුර යුද්දෙන් අනතුරුව අනිවාර්යයෙන්ම අසුරයන් පරදා සුරයන් ජයගන්නා බවත්, ඉන් පසු අමෘතය ලැබී ඔවුන් අජරාමර වන බවත් පුන පුනා කී පර්සි මහත්තයා මේ දවස්වල වැඩි කතාබහකට නො එන්නේ අපට දැන් තියෙන්නේ අමෘතය නොව රුබෙල්ලා එන්නත ගහගන්නට යැයි සුරයන් පාරෙ තොටේ කියන බැවිනි.
”නෑ අයිසෙ, මට හරියට වැඩ.” මේ වෙලාවේ අපේ බල්ලාද එතැනින් යන්නට ගියේය. බල්ලට ඇති වැඩකුත් නැත; හෙමින් ගමනකුත් නැත.
”ඒක නෙමෙයි, මොකක්ද අයිසෙ තමුසෙලා මේ ජෙනරල් අල්ලගෙන නටන්න හදන භයානක නාඩගම ?” පර්සි මහත්තයා චූටි මල්ලිගෙන් ඇසුවේ මා දෙසත් හොරැහින් බලමිනි.
”මොකක්ද පර්සි මහත්තයා, ජෙනරල් හොස්පිට්ල් ද? ජෙනරල් ස්ට‍්‍රයික් ද? ” චූටි මල්ලි හරස් ප‍්‍රශ්නයක් දැම්මේය.
”ඔය කොතැනත් ක‍්‍රියාත්මක වෙන්නෙ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ තමයි. මං කිව්වේ මේ ජෙනරල් සරත් ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා කිරීම ගැනයි. ඕවා මහා භයානක වැඩ අයිසෙ. හමුදාව දේශපාලනේට ගේන එක නෙමෙයි, ඒ ගැන කතා කිරීමත් අන්තිම භයානකයි.”
”එතකොට පොදු අපේක්ෂකයෙක් ඕන නැහැයි කියලද පර්සි මහත්තයා කියන්නෙ.?”
”ඇත්ත ම කියනව නං රටම පිළිගත් පොදු අපේක්ෂකයා තමයි මහා භාරකාර තුමා. ගිය පාර කළා වගේ එතුමාගෙ දෑත් මේ පාරත් ශක්තිමත් කළා නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් ඕනම නං අයිසෙ විපක්ෂ නායකයා දාන්න පුළුවන්නේ තරෙඟට.”
”ඒ වුණාට ඉතින් පර්සි මහත්තයලාමනේ පහුගිය කාලෙ කිව්වෙ විපක්ෂ නායකයා දුර්වලය; අදක්ෂය; ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැතිය; රටට ආදරේ නැතිය කියලා. දැන් කොහොමද එක පාරටම එයා හොඳ වුණේ ?.”
පහුගිය කාලයේ එක පතේ එකට කිරිබත් කෑ පර්සි මහත්තයාත් චූටි මල්ලිත් ධ‍්‍රැවීකරණය වී ඇති තරම ගැන පුදුමයට පත්වෙමින් මම ඇසුවෙමි.
”නෑ අයිසෙ. එයා ආවත් අපි කතා කරන්නෙ එයාට විරුද්ධව තමයි. මොකද අපි පෙරුම් පුරාගෙන ඇවිත් තියෙන්නෙ මේ පොදු ජන ආණ්ඩුවට ඡන්දෙ දෙන්න. අපි ඉතින් වෙන කොහේ යන්නද? මේ නහින දෙහින කාලෙ මේකෙම වැටිල මේක මත්තෙ ම නහිනව මිසක්. මට කණගාටු අයිසෙ මෙහෙම ගියාම මධ්‍යස්ථ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න අපේක්ෂකයෙක් නැතිවෙන එක ගැනයි.” අපේ බළලා ද නොයන තැනක් නැත. ඒ ගමන ඌ එළියට පැන්නේ පර්සි මහත්තයාගේ මල්ලෙනි.
”එතකොට පර්සි මහත්තයා කියන්නෙ විපක්ෂය ඡන්දෙට ඉදිරිපත් කරන්න ඕන මධ්‍යස්ථ මිනිස්සුන්ට ඡන්දෙ දාන්න පුළුවන් කෙනෙක්. ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕන දිනන්න පුළුවන් කෙනෙක්?” චූටි මල්ලිට දැන් මළ පැනගෙන එයි.
”අන්න හරි අයිසෙ, දැන් තමුසෙට තේරුණා. පොදු අපේක්ෂකයෙක් ඕනම නං තමුසෙලාට කරන්න තියෙන්නෙ එක්කො විපක්ෂයේ ඉන්න ආණ්ඩුවට හිතවත් කෙනෙක් ඡන්දෙට දාන එක. නැත්නම් ආණ්ඩුව ඇතුළෙම ඉන්න පතෝල කරලක් වගේ මධ්‍යස්ථ කෙනෙක් ණයට ඉල්ලගෙන ඡන්දෙට ඉදිරිපත් කරන එක. සෙල්ලම ඉවර වුණාම එයාව ආපහු ආණ්ඩුවට ම භාරදෙන්නත් පුළුවන්. තමුසෙලා ට ඕන සරත් කෙනෙක් ම නං ඔය ආණ්ඩුවෙත් ඉන්නෙ.”

Back to Home...
view pdf ....

Thursday, October 22, 2009

පර්සි මහත්තයගෙ කටේ පස් වැටෙයි

බන්ධුල මහත්තයා සීනිවලට ගහන ටැක්ස් මදිවට කූඹිත් වහලා යැයි කියූ අපේ අම්මා අව්වේ වැනූ පැදුරක සීනි ටික තුනී කළේ එතකොටවත් කූඹි ටික සීනි ගොඩෙන් ඉවත් වේවි යැයි සිතා විය යුතුය. ඉස්සර වගේ නිතර එළිපෙහෙලියට නොබසින පර්සි මහත්තයාද මේ වෙලාවෙ අපේ ගෙදරට කඩා පාත් විය.
”අන්න පර්සි මහත්තයලා එකතු වෙලා නඩු කියල ගමෙන් පන්න ගත්ත බීබී ආපහු ගමට ඇවිල්ල රජා වගේ ඉන්නවා. මිනිහට මාර පිළිගැනීමක්නෙ ලැබුණෙ”. චූටි මල්ලි බ්‍රේකින් නිවුස් පාරක් දැමිමේය.
චුටි මල්ලිලා වැනි එවුන්ට කිසිම හිතක් පපුවක් නැති ගාණය. කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුව වගේ කියයි. බීබී එළවන්නට උසාවි ගානෙ යමින් පර්සි මහත්තයා පසුගිය කාලයේ නැටූ තොවිලයත් එය සාර්ථක වූ පසු ඔහු තුළ ඇතිවූ උද්දාමයත් පිළිබඳව දන්නා කෙනෙකු වශයෙන් මට බය හිතුණේ පර්සි මහත්තයට හෘදයාබාධයක්වත් හැදෙයි කියාය. නඩුව දිනූ දවස්වල පර්සි මහත්තයා කියා තිබුණේ ලෙනින්ලා, කස්ත්‍රෝලා විප්ලවය කරන්නට ඔය තරම් මහන්සි වුණේ අනිවාර්තෙ බවත් තව ටික කලකදී තමන් නඩුවක් දමා ලංකාවෙ සමාජවාදය ඇති කිරීමට උසාවි නියෝගයක් ලබා ගන්නා බවත් ය.
”අනේ පුතේ, උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස් ” කියා කෑ ගැසූ පර්සි මහත්තයා චූටි මල්ලිත් ඇදගෙන සීනි පැදුරට පැන සීනි අහුරු පිටින් කාගෙන කාගෙන ගියේය.
මේ සිද්ධියෙන් පසු නම් පර්සි මහත්තයා ෂුවර් එකටම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂයට බැඳෙන බව සිතූ මම ” දැන් ඉතින් මොකක්ද කරන්න හිතන් ඉන්නෙ පර්සි මහත්තයා. ඉල්ලා අස්වීමේ ලියුම දෙනවද? ”කියා ඇසුවෙමි.වහා සීනි පැදුරෙන් නැගිට්ට පර්සි මහත්තයා ජිප්සීස්ලා ගේ සිංදුවක් කියන්න පටන් ගත්තේය. මම නම් ගෙඟ් පනිනවාවතුර බීල මැරෙනවාහුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවාජීවිතෙ එපා කියනවාකෝච්චිය ළං වෙනකොටඅපි නැඟිටිනවා
බන්දුලට සහ කුඹින්ට අමතරව පර්සි මහත්තයාද සීනි කෑම නිසා පාඩුව ටි‍්‍රපල් වූ අපේ අම්මා බැණ බැණ සීනි පැදුර අකුලන්නට වුවාය.”මේ නම් පුදුම කාලකණ්ණි කූඹි ටිකක්. අව්ව නෙමෙයි ලෝදිය වැටුණත් මුං නම් සීනි පැදුරෙන් එළවනවා බොරු”

Tuesday, September 8, 2009

පර්සි මහත්තයා එතුමාට අභිමුඛ වෙයි


සති ගණනක් ආ ගිය අතක් නැතිව සිටි පර්සි මහත්තයා හිටි හැටියේ අපේ නිවසට ගොඩ වැදුණේ තනිවම නොව විශාල සේනාවක් ද පිරිවරාගෙන ය.

''මොකද පර්සි මහත්තයා දකුණෙ ඡන්දෙට කැන්වසින් යනවා වත් ද? ” චූටි මල්ලි ඇසීය. ''පිස්සුද අයිසෙ, බලනවා මේ රටේ තියෙන ප‍්‍රශ්න දිහා. එහෙන් චිත‍්‍රපටි තහනම් කරනවා, මෙහෙන් මාධ්‍යවේදීන්ට පහර දෙනවා, තව පැත්තකින් පොලිසියෙන් මිනිස්සුන්ට ගහනවා, මරනවා. අරහෙ අවතැන් කඳවුරුවල මිනිස්සු අපා දුක් විඳිනවා. මේ වගේ තත්ත්වයක් යටතේ වාමාංශිකයන් වශයෙන් අපට නිකං බලා ඉන්න පුළුවන් ද?” පර්සි මහත්තයා විමසීය.

අන්තිමේදී පර්සි මහත්තයාත් නියම ට‍්‍රැක් එකට වැටී ඇතැයි සිතූ මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. '' යාන්තම් ඇති පර්සි මහත්තයාටත් ඇහැරුණා. ඕක තමයි අපි දිගටම කිව්වෙ. ඉතිං මේ උද්ඝෝෂණයක් වත් කරන්නද යන්නේ ? ” මම ඇසුවෙමි.

''තමුසෙට පිස්සුද අයිසෙ, ඒ වගේ වැඩක් කළාම ඒකේ වාසිය යන්නේ යූ.ඇන්.පී. එකටනේ. මේව මේ පොදු ජන ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න ඒකෙ ඇතුළෙ ඉන්න කඩාකප්පල්කාරීන් කරන වැඩ. අපි යන්නේ එතුමා හම්බ වෙලා කෙළින්ම ප‍්‍රශ්නය එතුමාට අභිමුඛ කරන්න. එතකොට එතුමාට සිද්ධ වෙනවා හරි උත්තරයක් දෙන්න.” පර්සි මහත්තයා කී විට, පරිවාර සේනාවද හිස් වනා ඒ කතාව එක හෙළා අනුමත කළහ.

බලාගෙන යනකොට එතනත් නැති කෙනෙක් නැත. කලාකරුවෝ, මාධ්‍යවේදියෝ, වෘත්තීය සමිති නායකයෝ, සිවිල් සමාජ කට්ටිය, වාමාංශිකයෝ පිරිලා ඉතිරිලාය. ''තමුසෙත් එනවද යන්න” කියා පර්සි මහත්තයා මටත් ආරාධනා කළ හෙයින් මමත් ‘ ඕනෑ එකක් ’ කියා ඒ සේනාවට ම එකතු වුණෙමි.

***************

එතුමා අප සියළු දෙනාම පිළිගෙන පර්සි මහත්තයාගේ කරටත් අතක් දමාගෙන

''මොකෝ පර්සි, හදිස්සියෙම මේ පැත්තට අවේ ?” කියා ඇසීය. ''නෑ, සර්, අපට ප‍්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා ඔබතුමාට අභිමුඛ කරන්න තමයි අපි ආවේ.” පර්සි මහත්තයා කීවේය. පර්සි මහත්තයා වැනි අය ගැන හොඳින් හදාරා ඇති එතුමා ‘දෙන්නං පුතෝ උඹට හොඳ අභිමුඛවීමක් ’ කියා හිතාගෙන ''ඔව් කියන්න බලන්න” කියා කීවේය.

''වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපට තහනම් කිරීමේ ආණ්ඩුවේ තීරණයෙන් කලාවට මරු පහරක් වදිනවා. ඔබතුමා අපට කියනවද මොනවගේ චිත‍්‍රපටද අපි හදන්න ඕනෑ කියලා.” එවිට කලාකරුවෙක් විමසීය.'' නෑ, නෑ, එහෙම තීරණයක් නැහැ. කලාත්මක චිත‍්‍රපටවලට කිසි තහනමක් නැහැ. අපි තහනම් කරන්නේ අසභ්‍ය චිත‍්‍රපට විතරයි.” එතුමා කීය.''එතකොට මේ මාධ්‍යවේදීන්ට විරුද්ධව නඩු දමලා සිරගෙට යැවීම නවත්වන්නත්, මාධ්‍යවේදීන්ට ආරක්ෂාව ලබාදෙන්නත් පියවරක් ගන්න බැරිද ? ” මාධ්‍යවේදියෙක් ඇසීය.''මාධ්‍යවේදීන්ට කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. දේශද්‍රෝහී කටයුතු වල යෙදිච්ච මාධ්‍යවේදීන්ට විරුද්ධ ව විතරයි නඩු දාන්නේ, හරිය?” එතුමා ඒ ප‍්‍රශ්නය ද විසඳුවේය.''එතකොට මේ පොලිස් අත්අඩංගුවේ ඉන්න සැකකරුවන් මිය යාම පිළිබඳ ප‍්‍රශ්නයට ඔබතුමාගෙ මැදිහත්වීමක් අවශ්‍යයි.” කියා කීවේ මානව හිමිකම් ගැන වැඩ කරන බව කියන සිවිල් සංවිධාන නායකයෙකි.''පොලිසියෙන් මිනිස්සුන්ට කිසිම හිරිහැරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. පොලිසිය මර්දනය කරන්නෙ ත‍්‍රස්තවාදීනුයි, පාතාල කල්ලියි විතරයි.” එතුමා කීවේ පර්සි මහත්තයා දෙස ද බලමිනි.''දැන් හරිනේ, මීට පස්සෙ තහනම් කරන්නේ අසභ්‍ය චිත‍්‍රපටි විතරයි ; හිරිහැර සිදුවෙන්නේ දේශද්‍රෝහී කටයුතු වල යෙදෙන මාධ්‍යවේදීන්ට විතරයි; අත් අඩංගුවේදී මිය යන්නෙ ත‍්‍රස්තවාදීනුයි, පාතාලයොයි විතරයි. කාටහරි අසභ්‍ය චිත‍්‍රපට වෙනුවෙන් හරි, දේශද්‍රෝහීන් වෙනුවෙන් හරි, පාතාලයන් වෙනුවෙන් හරි පෙනී සිටින්න ඕනද ?” පර්සි මහත්තයා ඇසීය. සභාව නිහඬය.ප‍්‍රශ්න සියල්ල ම විසඳුනු නිසා සභාතොමෝ සතුටින් විසිර ගියහ.

Thursday, August 6, 2009

පර්සි මහත්තයා අහසින් පොළොවට

''අන්න, පර්සි මහත්තයා පහුගිය කාලේ කරපු පිටරට ජොබ් එකටත් කෙළ වෙලා ගෙදර ඇවිල්ලා” චූටි මල්ලි බ්‍රේකින් නිව්ස් පාරක් දැම්මේය.”එකත් එකට ම යුරෝපයේ තියෙන ආර්ථික අර්බුදය නිසා වෙන්නැති " මම කිව්වෙමි."නෑ එක වෙන්න බෑ පර්සි කාරයා වැඩ කළේ යුරෝපෙ තියෙන අපේ රටේ තනාපති කාර්යාලෙක නේ. අපේ ප‍්‍රතිපත්තිවල තියෙන හොඳකම නිසා අපට ආර්ථික අර්බුදය බලපෑවෙ නැහැනේ.” චූටි මල්ලිත් බලාගෙන යනකොට පත්තර මල්ලි වගේ යමක් කමක් දන්නා පුද්ගලයෙකි.කොහොම වුණත් මිනිහෙකු විපතට වැටුණු විට අහක බලාගෙන ‘ ඕකට හොඳ වැඬේ’ කියා හෝ ‘උඩ පැන්නොත් බිම වැටේ ’ කියා හෝ සිනාසීම අපේ ජාතියට තරම් නොවන නිසා හැන්දෑකරේ පර්සි මහත්තයා ලෑ දිහාවේ ගියෙමි.

"මොකද පර්සි මහත්තයා වුණේ ? රටට ආදරය කරන බහුතර ගොඩෙන් රටට ආදරය නොකරන සුළුතරයේ පැත්තට වැටුණා ද ? ”විනෝද සමයේ අමාරිස් අයියා මෙන් හක හක ගා සිනා සුණු පර්සි මහත්තයා. ඉන්පසු හාමු මහත්තයා හෙවත් ඇනස්ලි ඩයස් ගේ ස්වරයෙන් මෙසේ කීවේය. "මොන පිස්සුද අයිසෙ ? මගේ හනිමූන් එක ආණ්ඩුවෙ වියදමෙන් යුරෝපෙ ගත කරන්න පොඩි චාන්ස් එකක් ආවා. ඉතිං අයිසෙ හැමදාම හනිමූන් නැහැනෙ. අවුරුදු දෙක ඉවර වුණාට පස්සෙ මම ආපහු ආවා.”ගහ දන්නා අයට (බුලත්) කොළ කඩා පාන්නා සේ පර්සි මහත්තයා මටත් මොත්තේ දාන්න පටන් ගැනීම නිසා මගේ මළ පැන්නේය."නිකං බොරු කතා කියන්න එපා පර්සි මහත්තයා. ජාතික ප‍්‍රශ්නෙ ට දේශපාලන විසඳුමක් අවශ්‍යයි, ඒකට දහතුන ක‍්‍රියාත්මක කරන්නෙ යි කියලා ප‍්‍රසිද්ධියෙ කීම නිසා නේද මේ සන්තෑසිය වුණේ. ඔය දහතුන මහ අසුබ නොම්මරයක් කියන කතාව නං සහතික ඇත්ත.”"පිස්සු ද අයිසෙ, පහුගිය අවුරුදු දෙකේදි මං වළං කඬේ ට පැනපු ගොනා වගේ ඇණ ගෙන ඇණ ගෙන ගියා. මේකෙන් වුණේ අපට මෙච්චර කල් සල්ලි දීපු එවුන් ඔක්කොම තරහ වෙච්ච එක. අළුත් යාළුවො ටිකක් නම් හම්බ වුණා. උන් ඉතින් හිත හොඳ නිර්ධන පංතික කට්ටිය. හැබැයි ප‍්‍රශ්නෙ උන්ට සල්ලි නෑ. අයිසෙ, මම ඇවිල්ල ස්ටාලින්වාදියෙක්. තව කාලයක් හිටිය නම් මම එහෙ ඉඳන් විප්ලවෙත් කරලයි නවතින්නේ. හොඳ වෙලාවට ඊට කලින් මාව අස් කළා.”

"ඒ වුණා ට පර්සි මහත්තයා, අපේ වාමාංශිකයො නම් කියන්නෙ වෙන කතාවක්.”"අයිසෙ, මං දන්නව නේ ඒ මෝඩයො මගේ ලණුව කනව කියල. ආපහු ඇවිල්ල වාමාංශික බුද්ධිමතෙක් වශයෙන් ඉන්න නම්, එළවන්න කලින් ප‍්‍රගතිශීලි ටෝක් එකක් දෙන්න ඕන. අර උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියනව වගේ එතකොට ඊට කලින් කරපු ඔක්කොම ජරා වැඩ වල එකවුන්ට් එක කැන්සල් වෙනව” " එතකොට මොකක්ද පර්සි මහත්තයා කිව්වෙ? ” මම ඇසුවෙමි."අයිසෙ, මම කිව්වෙ මෙච්චරයි, දකුණෙ ඉන්න අන්තවාදීන් දහතුනට විරුද්ධ වෙන්නෙ එකෙ මොනව හරි බලයක් තියෙන නිසා නේ, ඉතින් ඒක ම ඇති උතුරෙ ඉන්න අයට ඒක පිළිගන්න. ඒ වගේ ම උතුරෙ ඉන්න අන්තවාදීන් දහතුනට විරුද්ධ වෙන්නෙ ඒකෙ මොන කෙහෙල්මලක්වත් නැති නිසානේ. ඒ නිසා ඒක ම ඇති දකුණෙ ඉන්න අයට ඒක බාරගන්න.”ආපසු එන අතර මා කල්පනා කළේ පර්සි මහත්තයාත් අමුතු ම ජාතියක පොරක් බවයි. පර්සි මහත්තයා මොනවා කීවත් ඔහු තක්කඩියෙකු බව පිළිගැනීමට මගේ සිත නො නැමේ. පර්සි තක්කඩියෙකු බව මම දනිමි. එහෙත් මම එය විශ්වාස නොකරමි.

Friday, July 31, 2009

පර්සි මනාලියන් ඇන්දවීමට යයි

රූපවාහිනි යන්ත‍්‍රයේ චැනල් මාරු කරන අතර වැරදීමකින් එය අයි.ටී.එන් චැනලයට මාරු වූ වෙලාවක දුටු දැන්වීමක් නිසා මගේ ඔළුව විකාර වී ගියේය.

වෙල්ලස්සෙ මහ නිළමෙ වෙන්නට පෙරුම් පුරන බස්නායක නිළමෙ තුමන් විසින් සංවිධානය කර ඇති මනාලියන් ඇන්දවීමේ වැඩමුළුවක සම්පත්දායකයකු වශයෙන් පර්සි මහත්තයා ද සහභාගී වන බව ඒ දැන්වීමෙන් කියැවුණි. ඒ මදිවට පර්සි මහත්තයා ගේ පින්තූරයක් ද එහි ප‍්‍රදර්ශනය විය.

වහාම පර්සි මහත්තයා සොයා ගොස් මේකෙ ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා මම පාරට බැස්සෙමි. මා යන විට පර්සි මහත්තයා සිටියෙ මතට තිත තබමිනි.

"මොකක්ද පර්සි මහත්තයා, දැන් ඒ පාර මේ මනමාලියන්ට අන්දන වැඩමුළුවලටත් යන්න පටන් ගත්තද? ” මම ඇසුවෙමි.

"අයිසේ, තමුසෙලා වරද්දගෙන නේ, මනමාලියන්ට අන්දන්න මම යන්නෙ මොකටද? ඒකට එනව වෙනම නෝන කෙනෙක් ” පර්සි මහත්තයා සන්සුන් ලෙස කීවේය.

"එහෙනම්, පර්සි මහත්තයගෙ නම ටී.වී එකේ දාන්නෙ මොන කෙහෙල් මලකට ද?
"අයිසේ, මම යනව තමයි, ඒත් මම යන්නෙ එන මනමාලියන්ට අන්දන්න නෙමෙයි. එතනට එන ගමේ මිනිස්සුන්ට අන්දන්න. තමුසෙ දන්නෙ නැද්ද, මම හැමදාම කළේ අන්දන එකනෙ.”
මෙතෙක් වෙලා මාත් සිටියේ ඇඳගෙන බව වැටහුණු මම ආපසු ගෙදර බලා ආවෙමි.

Back to Home

Thursday, July 16, 2009

කටු පඳුරේ වනා ඇති රෙද්ද

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.


ඊයේ පෙරේදා දවසක මම පාර දිගේ ඇවිද යන අතර දුටුවේ පර්සි මහත්තයා රජ මාළිඟාවේ අංගනයේ සෙසු ප‍්‍රවේණි දාසයන් අතර හිඳිමින් කටු පඳුරක් උඩ වනා තිබූ රෙද්දක් හෙමින් හෙමින් පරිස්සමින් ගලවමින් සිටින ආකාරයයි. ” මේ, මේ, පර්සි මහත්තයා, මොකද මේ ලැජ්ජාවක් නැතුව රජ මාළිඟාවේ ඉඳුල් කකා වහල් වැඩ කරන්නෙ? ” පුදුමයටත්, කම්පාවටත්, ලැජ්ජාවටත් එකවර පත් වූ මම ඇසුවෙමි.” තමුසෙට පිස්සුද අයිසෙ, මම ප‍්‍රවේණි දාසයෙක් නෙමෙයි, රජතුමාගෙ පුරෝහිතයෙක් ” පර්සි මහත්තයා දෑත මිට මොළවා ගිරිය පුප්පා ගෙන කෑගැසුවේය. මට නම් ප‍්‍රවේණි දාසයන් සහ ඔය කියන පුරෝහිතයන් අතර කිසිදු වෙනසක් නොපෙනුණි.” ප‍්‍රවේණි දාසයා හරි පුරෝහිතයා හරි රජ මාළිඟාවෙනේ වැඩ. කන්නේ මාළිඟාවෙ ඉඳුල්නෙ. ඇත්තටම පර්සි මහත්තයා වාමාංශිකයෙක් හැටියට ලැජ්ජාවක් නැද්ද? ”” තමුසෙලාට තේරෙන්නෙ නෑ අයිසේ, අපි කරන්නෙ අධිරාජ්‍ය විරෝධී අරගලය. මේ වෙලාවෙ ප‍්‍රගතිශීලී බලවේගය ඉන්නේ රජතුමා එක්කයි. ඒක ගලවා ගැනීම හරිම පරිස්සමෙන් කරන්න ඕනෑ. ඒකයි මම මේ කරන්නෙ ” කියූ පර්සි මහත්තයා නැවතත් කටු පඳුර මත තිබූ රෙද්ද ගලවන්නට විය.මම ආපසු එන විටත් තවම පර්සි මහත්තයා කටු පඳුර ළඟය. මේක නම් කවදාවත් ගැලවෙන රෙද්දක් නෙවේ යැයි මට ම කියා ගත් මම ගෙදර ගියෙමි. පර්සි මහත්තයා තවමත් අතේ කටු ඇන ගනිමින් රෙද්ද ගලවනවා ඇත.

Friday, July 3, 2009

අධිරාජ්‍ය විරෝධය

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පර්සි මහත්තයා හංදියේ කඬේ ළඟ ඇති ජෑම් ගහ යට බංකුව උඩ වාඩි වී කතාවක් පවත්වයි. කඬේ ළඟ සිවිල් ආරක්ෂක කටයුතුවල යෙදෙන චූටි මල්ලිලා අසා සිටිති.”යූ.ඇන්.පී කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂය. ඒකෙ හුළඟවත් වදින තැනකට අපි නම් යන්නේ නැහැ””ඒ වුණාට පර්සි මහත්තයා දැන් ඔහොම කිව්වට පහුගිය දවස්වල නම් ගැහුවෙ වෙන රෙකෝඞ් එකක්.””ඒ එදා ඒ මොහොතේ එතැන තත්ත්වය. මෙදා මේ මොහොතේ මෙතැන තත්ත්වය වෙනස්. පංතියට වාසිදායක ස්ථාවරය තමයි නියම ස්ථාවරය””දැන් කොහොමද තත්ත්වය වෙනස් වුණේ ? ””ඇයි අයිසේ, අයි.එම්.එෆ්. එක ඩොලර් බිලියන 1.9 ක ලෝන් එකක් ලංකාවට දෙන්න යනව නේ. යූ.ඇන්.පී එක ඒකට පක්ෂ වෙනවා කියන එක ෂුවර් නෙ. එතකොට අයි.එම්.එෆ්. ලෝන් එකට පක්ෂ අය එක්ක අපි හිටගන්නෙ කොහොමද?””ඒ වුණාට, දැන් මේ ලෝන් එක දෙන්න එපා කියලා යූ.එන්.පී එක කේලම් කියපු නිසා අයි.එම්.එෆ්. එක කොන්දේසි දමලා තියෙනවය, රටට අහිතකර කොන්දේසි යටතේ නම් කිසි ලෙසකින් මේ ලෝන් එක ගන්නෙ නැහැය කියල දැන් ආණ්ඩුව කියනවනෙ.””ඒක තමයි, අයිසේ මං කියන්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ් ලෝන් එක එපා කියනවා කියන්නෙ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධියි නෙ. ඉතින් ඒ වගේ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවකට විරුද්ධ වෙන්නෙ අධිරාජ්‍යවාදීන්ගෙ පක්කලියො. යූ.ඇන්.පී එක ආණ්ඩුවට විරුද්ධයිනෙ. ඉතින් අපි කොහොමද යු.ඇන්.පී එකත් එක්ක එකට ඉන්නේ.”පර්සි මහත්තයා ජයග‍්‍රාහි ලීලාවෙන් කතාව අවසන් කළේය.

Thursday, June 18, 2009

මේක ටොයිලට් කේස් එකක් !

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.

කුර්තා කමිසයක් ඇඳගෙන රෙදි මල්ලක් කරේ එල්ලාගත් පර්සි මහත්තයා අපේ ගෙදරට ගොඩවදින විට මමත්,චූටි මල්ලිත් සිටියේ රූපවාහිනියේ ප‍්‍රචාරය වන ‘‘දයා මාස්ටර්ස් ලිස්ට්’’ නැමැති වාර්තා චිත‍්‍රපටය නරඹමිනි.
‘‘නැද්ද පරණ වෙලා අහක දාපු වැසිකිලි කටවල් එහෙම’’ පර්සි මහත්තයා ඇසීය.‘‘පරණ වැසිකිළි කටවල් කොහෙද මහත්තයා මෙහෙ? ඒව ඔක්කොම පාවිච්චි වෙනවනෙ’’ චුටි මල්ලි කීවේ වැසිකිළිය පැත්තට අත දිගු කරමින් වුවද වැරදීමකින් හෝ අත දිගු වූයේ රූපවාහිනිය පැත්තටය.
‘‘මොකද මේ පර්සි මහත්තයා හදිස්සියෙම වැසිකිළි කටවල් එකතු කරන්න පටන් ගත්තෙ ?’’ මම ඇසුවෙමි.’’නෑ අයිසෙ, අර උතුරේ සහන ගම්මානවල ඉන්න මිනිස්සුන්ට වැසිකිළි නැහැනෙ. ඉතිං ඒ නිසා අපි පටන් ගත්තා වැසිකිළි ව්‍යාපෘතියක්. ඒකයි මේ’’
‘‘ඉතිං පර්සි මහත්තයලා ඒකාලේ කිව්වෙ ඒ මිනිස්සු ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ බලය නැති නිසාය. ඒ නිසා එයාලට බලය බෙදන්න ඕනයි කියලා නේද? දැන් මේ වැසිකිළි කටවල් බෙදන්නෙ. බලය බෙදන එක අතෑරලාද?’’ හැමදාමත් කට කැඩිච්ච කතාවක් කියන චුටි මල්ලි ඇසුවේය.‘‘නෑ අයිසෙ, තමුසෙලාට තේරෙන්නෙ නැහැ. ඉස්සර අපිත් හිතුවෙ ඒ මිනිස්සුන්ට තිබුණෙ බලය පිළිබඳ ප‍්‍රශ්නයක් කියලයි. දැන් අපිට තේරෙනවා එයාලට තිබිල තියෙන්නේ වැසිකිළි ප‍්‍රශ්නයක්. අයිසෙ, අපිට වුණත් ඕන කරන වෙලාවට වැසිකිළි යන්න බැරිවුනාම මල පනිනවනෙ. ඉතිං ඒ මිනිස්සු ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ වැසිකිළි නැතිකම නිසා. ඒ නිසා තමයි අපි ‘බලය බෙදීම වෙනුවට වැසිකිළි බෙදීම’ තෝරගත්තෙ’’ යැයි කියු පර්සි මහත්තයා එළියට බැස තම මොන්ටෙරෝ රථයට නැඟුණේය.

Monday, June 15, 2009

ලැජ්ජයි....!

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.

මම ඇස් වාට්ටුවට යන අතර හදිස්සියේම ”ලැජ්ජයි” කියා බැනර් එකක් ගසාගත් සුදුපාට හයි-එස් වෑන් එකක් ඇවිත් මා ඉදිරියේ නතර විය. සූදානම් ශරීරය කියා මම ටිකක් බය වී පස්සට පැන්නෙමි. වෑන් එකෙන් බැස්සේ පර්සි මහත්තයාය. රට පිළිගත් පත්තර කර්තෘවරු සහ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් ද පර්සි පර්සි මහත්තයා සමග සිටි අතර ඒ හැම දෙනාම ලැජ්ජයි කියා මුද්‍රණය කළ ටී-ෂර්ට් හැඳගෙන සිටියහ.

”ආ....පර්සි මහත්තයා, පෝදදල වෙනුවෙන් තියෙන සත්‍යග‍්‍රහණයට යන්න වගෙයි.”
මම ඇසුවෙමි.
”පිස්සුද අයිසේ.... අපි ඇවිල්ලා රටට ආදරය කරන බහුතරයට අයත් මිනිස්සු හැටියට හැටියට ඕවට යන්න ලැජ්ජයි. අපි යනව පෝද්දලට කැඳ ටිකක් පොවන්න පව් අහිංසකයා”.
පර්සි මහත්තයා කියන විට අනිත් කට්ටිය හොටු හූරන්න පටන් ගත්තා.
ඒ වුණාට පර්සි මහත්තයා ඉස්සර නම් පෝද්දලට ගැහුවා වගේ සිද්ධියක් වුණාම පර්සි මහත්තයලා පහුවෙනිදා දවල් ලිප්ටන් සර්කල් බදු ගන්නවා, ටීවී චැනල් බදුගන්නවා”.
”නෑ අයිසේ ,මේ වෙලාවේ ඒවා කළොත් යූ.එන්.පී එක වාසි ගන්නවනේ”.
”ඉතින්, ඒ කාලෙත් එහෙමනේ. යූ.එන්.පී එකනේ ඒ කාලෙත් විරුද්ධ පක්ෂයේ හිටියේ”.
අන්දුන් කුන්දුන් වී ගිය මම ඇසුවෙමි.
”ඒක තමයි අයිසේ, දැන්නේ අපිට ඒක තේරුණේ. ඒ නිසා අපි වෙනස් වුණා”.
”එතකොට ‘ලැජ්ජයි’ කියලා බෝඞ් ගහගෙන යන්නේ යන්නේ මොන මඟුලකටද”?
”නෑ අයිසේ, අපේ අතීතය මතක් වුණාම අපටම ලැජ්ජයි. ඒකයි මේ”.
කියූ පර්සි මහත්තයා ඇතුළු කට්ටිය කැඳ භාජනයත් රැගෙන රෝහල පැත්තට මාරු වූහ.

තර්ටීන් ප්ලස් (13+)

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.චූටි මල්ලි ඇතුළු ගමේ තරුණ කැළ පොසොන් තොරණක් නිර්මාණය කර තිබූ නිසා මමද තොරණ වන්දනාවේ ගියෙමි.දහ තුන - දහ තුන- දහ තුනදහ තුන - දහ තුන- දහ තුනකොන්සල්ටන් - කොන්සල්ටන්කොන්සල්ටන් - කොන්සල්ටන්පුරුදු කට හඬකින් නුපුරුදු ආකාරයේ තොරණේ කවියක් ගායනා කරනු අසා ඒ ගැන හොයා බැලීමට මම තොරණ පිටිපස්සට ගියෙමි.අරුමයකි; පුදුමයකි.චූටි මල්ලිලාගේ පොසොන් තොරණේ කවි ගායනා කරන්නේ වාමාංශිකයෙකු වන පර්ස් මහත්තයාය. පර්සි මහත්තයත් චූටි මල්ලිලාට එකතු වී රටට ආදරය කරන බහුතරයේ ගොඩට එකතු වෙලාවත්ද? .”මොකක්ද පර්සි මහත්තයා මේ ? මොකක්ද අර කවිය ? ඕක තොරණ් කවියක්ද? නැත්නම් ජනක් පේ‍්‍රමලාල්ගේ රාජ කපුරු නාට්‍යයේ සිංදුවක්ද? ””නෑ අයිසේ, දැන් ආණ්ඩුව 13 වන සංශෝධනය සම්පුර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරලා, පළාත් සභාවලට ඔක්කොම බලතල දෙන්නනේ යන්නේ. රටට ආදරය කරන බහුතරයගේ වගකීම තමයි ඒකට සපෝට් එකක් දෙන එක. අනිත් එක මෙච්චර කල් මේ බලය බෙදීමට විරුද්ධව හිටියේ එල්.ටී.ටී.ඊ එකයි, ජේ.වී.පී එකයිනේ. දැන් එල්.ටී.ටී.ඊ එකේ ආයුධ බලයත් ඉවරයි, ජේ.වී.පී. එකේ රිමෝට් කොන්ට්‍රෝල් බලයත් ඉවරයි. එක නිසා තමයි අපි මේ තොරණ ගැහුවේ, නේද චූටි මල්ලි ? ” කියා එක හුස්මට කියාගෙන ගිය පර්සි මහත්තයා චූටි මල්ලිගේ කරට අත දා ගත්තේය.”එතකොට පර්සි මහත්තයා මොකක්ද ඒ කවිය ?”” නෑ අයිසේ, අපිටත් දැන් කලක ඉඳලා වැලේ වැල් නැතුවනේ ඉන්නේ. ඉතිං 13 ආයෙත් ආවම ඒ ගැන ජනතාව දැනුවත් කරන්න අලූතෙන් ප්‍රොජෙක්ට්ස් එනවා. එතකොට ඒවායේ කොන්සල්ටන්ලා වෙන්නේ අපිනේ. චූටි මල්ලිලාට පුළුවන් ස්වයං රැකියාවක් විදිහට ඒ ප්‍රෝජෙක්ට් වල වැඩ කරන්න.” කිවු පර්සි මහත්තයා නැවතත් මයික්‍රොෆෝනය අතට ගත්තේය.දහ තුන- දහ තුන- දහ තුනදහ තුන- දහ තුන- දහ තුනකොන්සල්ටන් - කොන්සල්ටන්කොන්සල්ටන් - කොන්සල්ටන්



*************************


පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.

චූටි මල්ලිලා ඇතුළු ගමේ තරුණ කැළ රතිඤ්ඤ කරල් පුපුරවමින් සිටින තැනට පර්සි මහත්තයා ද කඩා පාත් විය.”ආ, පර්සි මහත්තයා, යුද්දෙන් සාමය ඇතිකරවන්න බැහැ කියලා ඒ කාලෙ කයිවාරු ගැහුවා නේද? දැන් මොකද කියන්නේ ?” චූටි මල්ලි ඇසුවේය.”ඔව්, ඔව්, ඒ කාලෙ කිව්වෙ නම් සම්පුර්ණයෙන් ම අල්ල ගන්න බැහැ, පොඩි කෑල්ලක් වත් ඉතුරු වෙනවා කියලා නේද? ” නන්දන ද පර්සි මහත්තයාට කෝචොක් පාරක් දැම්මේ තවත් රතිඤ්ඤ වටයක් පුපුරවමිනි.සිහිබුද්ධිය ඇති ඕනෑම වාමාංශිකයෙක් මේ වෙලාවේ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගසා මිටි තැනින් වතුර බසින්නට ඉඩහැර රතිඤ්ඤ කරලක් පිපිරවීමට දායක වීමයි. එසේ කොට රටට ආදරය නොකරන සුළු දෙනාගේ ගොඩට නොවැටී රටට ආදරය කරන බහුතරයගේ ගොඩට ඇතුළු වීමයි.එහෙත් පර්සි මහත්තයා කීවේ තමාට ‘පිස්සු පර්සි’ කියා කීම සාධාරණීයකරණය කළ හැකි පිස්සු කතාවකි.”ඔන්න අපේ ගමේ එක මිනිහෙක් හිටියා. දවසක් එයා දෑකැත්තක් අරන් සෙල්ලමි කරන කොට අනිත් අය කිව්වා ඕක භයානක සෙල්ලමක් කියලා. එතකොට මිනිහා කිව්වා ‘මට ඕනෑ නම් දෑකැත්ත ගිලින්න වුණත් පුළුවන්’ කියලා. වටේ ඉන්න අය කිව්වා ” මොන පිස්සුද ඒක නම් කවදාවත් කරන්න බැරි දෙයක්’ කියලා. අර මනුස්සයා මොකද කළේ ෆුල් ඩම් දාලා ගිල්ල නේද දෑකැත්ත. වටේ හිටපු හැමෝම පුදුම වෙලා බලා හිටියා. එතකොට මම කිව්වා ”හරි, ඒක නම් කළා, හෙට උදේට මල පහ කරන කොට තමයි වැඬේ” කියලා”එසේ කියූ පර්සි මහත්තයා යන්න ගියේය.”පිස්සු පර්සි ගේ පිස්සු කතා! අපි කියපු කතාවට කට උත්තර නැතිව මිනිහා කොහේද නැති බේගලයක් කියලා මාරු වුණා’ කියු තරුණ කැළ නැවතත් රතිඤ්ඤ පිපිරවීමට පටන් ගත්හ.


*************************
අධිරාජ්‍ය විරෝධයට මල් මිටක් !

පර්සි මහත්තයා පොත් කියවයි; ඉංග‍්‍රිසි කතා කරයි; ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වෙයි. මේ ලක්ෂණ තුනෙන් එකක් වත් ඇති අපේ ගමේ සොයා ගැනීම නිකිණි සෙවීමටත් වඩා අමාරුය. ඒ නිසා දෝ ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ පිස්සු පර්සි කියාය.පර්සි මහත්තයා තකහනියක් අපේ ගෙදර ගොඩ වැදුණේ මල් පොකුරු වගයක් ද අතින් අරගෙනය.” මම යනව අයිසේ විමල් වීරවංශටයි චම්පික රණවකටයි මල් මිට මිට දීලා එන්න ” පර්සි මහත්තයා කීය.වාමාංශිකයෙකු වු පර්සි මහත්තයාගේ යූ ටර්න් එක ගැන මම අන්දුන් කුන්දුන් වුණෙමි.”නෑ අයිසේ, මේ රටේ ඉන්න වාමාංශිකයන් කියන එවුන්ට වඩා ඒ සහෝදරවරු වාමාංශිකයි. එංගලන්ත, ප‍්‍රංශ, ඇමෙරිකන් අධිරාජ්‍යවාදියො අපේ රට උන්ගේ පිළිකන්නක් කියල හිතල අපට පාට් දාන කොට පාරට බැහැලා, පෝස්ටර් ගහලා විරෝධයක් දක්වන්න පිට කොන්දක් තිබුණෙ එයාලට විතරයි. අපේ ඊනියා වාමාංශිකයො දැන් ලිබරල් කතිකාවට යටවෙලා, අධිරාජ්‍යවාදීන් ට දැන් කියන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව කියලා.””එ් වුණාට පහුගිය කාලෙ පර්සි මහත්තයා ඔය අධිරාජ්‍යවාදී රටවල ආණ්ඩු වලින් ලංකාවෙ සාමය ඇති කරන්න හදපු කොම්පැනියක ලොක්කා වෙලා ඉන්න කාලෙ ඔහොම කතා කළේ නෑනේ.” අපේ චූට් මල්ලි කීවේය. ”අයිසේ , ඒ මෝඩයො මට පැයකට රුපියල් පන්දාහ ගාණෙ ගෙවන කොට උන්ට අධිරාජ්‍යවාදීන් කියල මගේ ජොබ් එක නැති කර ගන්න තමුසෙලා හිතන්නෙ මට පිස්සු කියලා ද?” කියා ඇසු පර්සි මහත්තයා මල් මිටිත් රැගෙන පාරට බැස්සේය.

Back to home