පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
ඊයේ පෙරේදා දවසක මම පාර දිගේ ඇවිද යන අතර දුටුවේ පර්සි මහත්තයා රජ මාළිඟාවේ අංගනයේ සෙසු ප‍්‍රවේණි දාසයන් අතර හිඳිමින් කටු පඳුරක් උඩ වනා තිබූ රෙද්දක් හෙමින් හෙමින් පරිස්සමින් ගලවමින් සිටින ආකාරයයි. ” මේ, මේ, පර්සි මහත්තයා, මොකද මේ ලැජ්ජාවක් නැතුව රජ මාළිඟාවේ ඉඳුල් කකා වහල් වැඩ කරන්නෙ? ” පුදුමයටත්, කම්පාවටත්, ලැජ්ජාවටත් එකවර පත් වූ මම ඇසුවෙමි.” තමුසෙට පිස්සුද අයිසෙ, මම ප‍්‍රවේණි දාසයෙක් නෙමෙයි, රජතුමාගෙ පුරෝහිතයෙක් ” පර්සි මහත්තයා දෑත මිට මොළවා ගිරිය පුප්පා ගෙන කෑගැසුවේය. මට නම් ප‍්‍රවේණි දාසයන් සහ ඔය කියන පුරෝහිතයන් අතර කිසිදු වෙනසක් නොපෙනුණි.” ප‍්‍රවේණි දාසයා හරි පුරෝහිතයා හරි රජ මාළිඟාවෙනේ වැඩ. කන්නේ මාළිඟාවෙ ඉඳුල්නෙ. ඇත්තටම පර්සි මහත්තයා වාමාංශිකයෙක් හැටියට ලැජ්ජාවක් නැද්ද? ”” තමුසෙලාට තේරෙන්නෙ නෑ අයිසේ, අපි කරන්නෙ අධිරාජ්‍ය විරෝධී අරගලය. මේ වෙලාවෙ ප‍්‍රගතිශීලී බලවේගය ඉන්නේ රජතුමා එක්කයි. ඒක ගලවා ගැනීම හරිම පරිස්සමෙන් කරන්න ඕනෑ. ඒකයි මම මේ කරන්නෙ ” කියූ පර්සි මහත්තයා නැවතත් කටු පඳුර මත තිබූ රෙද්ද ගලවන්නට විය.මම ආපසු එන විටත් තවම පර්සි මහත්තයා කටු පඳුර ළඟය. මේක නම් කවදාවත් ගැලවෙන රෙද්දක් නෙවේ යැයි මට ම කියා ගත් මම ගෙදර ගියෙමි. පර්සි මහත්තයා තවමත් අතේ කටු ඇන ගනිමින් රෙද්ද ගලවනවා ඇත.
No comments:
Post a Comment