Friday, July 3, 2009

අධිරාජ්‍ය විරෝධය

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පර්සි මහත්තයා හංදියේ කඬේ ළඟ ඇති ජෑම් ගහ යට බංකුව උඩ වාඩි වී කතාවක් පවත්වයි. කඬේ ළඟ සිවිල් ආරක්ෂක කටයුතුවල යෙදෙන චූටි මල්ලිලා අසා සිටිති.”යූ.ඇන්.පී කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂය. ඒකෙ හුළඟවත් වදින තැනකට අපි නම් යන්නේ නැහැ””ඒ වුණාට පර්සි මහත්තයා දැන් ඔහොම කිව්වට පහුගිය දවස්වල නම් ගැහුවෙ වෙන රෙකෝඞ් එකක්.””ඒ එදා ඒ මොහොතේ එතැන තත්ත්වය. මෙදා මේ මොහොතේ මෙතැන තත්ත්වය වෙනස්. පංතියට වාසිදායක ස්ථාවරය තමයි නියම ස්ථාවරය””දැන් කොහොමද තත්ත්වය වෙනස් වුණේ ? ””ඇයි අයිසේ, අයි.එම්.එෆ්. එක ඩොලර් බිලියන 1.9 ක ලෝන් එකක් ලංකාවට දෙන්න යනව නේ. යූ.ඇන්.පී එක ඒකට පක්ෂ වෙනවා කියන එක ෂුවර් නෙ. එතකොට අයි.එම්.එෆ්. ලෝන් එකට පක්ෂ අය එක්ක අපි හිටගන්නෙ කොහොමද?””ඒ වුණාට, දැන් මේ ලෝන් එක දෙන්න එපා කියලා යූ.එන්.පී එක කේලම් කියපු නිසා අයි.එම්.එෆ්. එක කොන්දේසි දමලා තියෙනවය, රටට අහිතකර කොන්දේසි යටතේ නම් කිසි ලෙසකින් මේ ලෝන් එක ගන්නෙ නැහැය කියල දැන් ආණ්ඩුව කියනවනෙ.””ඒක තමයි, අයිසේ මං කියන්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ් ලෝන් එක එපා කියනවා කියන්නෙ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධියි නෙ. ඉතින් ඒ වගේ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවකට විරුද්ධ වෙන්නෙ අධිරාජ්‍යවාදීන්ගෙ පක්කලියො. යූ.ඇන්.පී එක ආණ්ඩුවට විරුද්ධයිනෙ. ඉතින් අපි කොහොමද යු.ඇන්.පී එකත් එක්ක එකට ඉන්නේ.”පර්සි මහත්තයා ජයග‍්‍රාහි ලීලාවෙන් කතාව අවසන් කළේය.

No comments:

Post a Comment