Thursday, June 18, 2009

මේක ටොයිලට් කේස් එකක් !

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.

කුර්තා කමිසයක් ඇඳගෙන රෙදි මල්ලක් කරේ එල්ලාගත් පර්සි මහත්තයා අපේ ගෙදරට ගොඩවදින විට මමත්,චූටි මල්ලිත් සිටියේ රූපවාහිනියේ ප‍්‍රචාරය වන ‘‘දයා මාස්ටර්ස් ලිස්ට්’’ නැමැති වාර්තා චිත‍්‍රපටය නරඹමිනි.
‘‘නැද්ද පරණ වෙලා අහක දාපු වැසිකිලි කටවල් එහෙම’’ පර්සි මහත්තයා ඇසීය.‘‘පරණ වැසිකිළි කටවල් කොහෙද මහත්තයා මෙහෙ? ඒව ඔක්කොම පාවිච්චි වෙනවනෙ’’ චුටි මල්ලි කීවේ වැසිකිළිය පැත්තට අත දිගු කරමින් වුවද වැරදීමකින් හෝ අත දිගු වූයේ රූපවාහිනිය පැත්තටය.
‘‘මොකද මේ පර්සි මහත්තයා හදිස්සියෙම වැසිකිළි කටවල් එකතු කරන්න පටන් ගත්තෙ ?’’ මම ඇසුවෙමි.’’නෑ අයිසෙ, අර උතුරේ සහන ගම්මානවල ඉන්න මිනිස්සුන්ට වැසිකිළි නැහැනෙ. ඉතිං ඒ නිසා අපි පටන් ගත්තා වැසිකිළි ව්‍යාපෘතියක්. ඒකයි මේ’’
‘‘ඉතිං පර්සි මහත්තයලා ඒකාලේ කිව්වෙ ඒ මිනිස්සු ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ බලය නැති නිසාය. ඒ නිසා එයාලට බලය බෙදන්න ඕනයි කියලා නේද? දැන් මේ වැසිකිළි කටවල් බෙදන්නෙ. බලය බෙදන එක අතෑරලාද?’’ හැමදාමත් කට කැඩිච්ච කතාවක් කියන චුටි මල්ලි ඇසුවේය.‘‘නෑ අයිසෙ, තමුසෙලාට තේරෙන්නෙ නැහැ. ඉස්සර අපිත් හිතුවෙ ඒ මිනිස්සුන්ට තිබුණෙ බලය පිළිබඳ ප‍්‍රශ්නයක් කියලයි. දැන් අපිට තේරෙනවා එයාලට තිබිල තියෙන්නේ වැසිකිළි ප‍්‍රශ්නයක්. අයිසෙ, අපිට වුණත් ඕන කරන වෙලාවට වැසිකිළි යන්න බැරිවුනාම මල පනිනවනෙ. ඉතිං ඒ මිනිස්සු ප‍්‍රචණ්ඩත්වයට යොමුවෙලා තියෙන්නෙ වැසිකිළි නැතිකම නිසා. ඒ නිසා තමයි අපි ‘බලය බෙදීම වෙනුවට වැසිකිළි බෙදීම’ තෝරගත්තෙ’’ යැයි කියු පර්සි මහත්තයා එළියට බැස තම මොන්ටෙරෝ රථයට නැඟුණේය.

No comments:

Post a Comment