Monday, June 15, 2009

ලැජ්ජයි....!

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.

මම ඇස් වාට්ටුවට යන අතර හදිස්සියේම ”ලැජ්ජයි” කියා බැනර් එකක් ගසාගත් සුදුපාට හයි-එස් වෑන් එකක් ඇවිත් මා ඉදිරියේ නතර විය. සූදානම් ශරීරය කියා මම ටිකක් බය වී පස්සට පැන්නෙමි. වෑන් එකෙන් බැස්සේ පර්සි මහත්තයාය. රට පිළිගත් පත්තර කර්තෘවරු සහ වෘත්තීය සමිති නායකයන් ගණනාවක් ද පර්සි පර්සි මහත්තයා සමග සිටි අතර ඒ හැම දෙනාම ලැජ්ජයි කියා මුද්‍රණය කළ ටී-ෂර්ට් හැඳගෙන සිටියහ.

”ආ....පර්සි මහත්තයා, පෝදදල වෙනුවෙන් තියෙන සත්‍යග‍්‍රහණයට යන්න වගෙයි.”
මම ඇසුවෙමි.
”පිස්සුද අයිසේ.... අපි ඇවිල්ලා රටට ආදරය කරන බහුතරයට අයත් මිනිස්සු හැටියට හැටියට ඕවට යන්න ලැජ්ජයි. අපි යනව පෝද්දලට කැඳ ටිකක් පොවන්න පව් අහිංසකයා”.
පර්සි මහත්තයා කියන විට අනිත් කට්ටිය හොටු හූරන්න පටන් ගත්තා.
ඒ වුණාට පර්සි මහත්තයා ඉස්සර නම් පෝද්දලට ගැහුවා වගේ සිද්ධියක් වුණාම පර්සි මහත්තයලා පහුවෙනිදා දවල් ලිප්ටන් සර්කල් බදු ගන්නවා, ටීවී චැනල් බදුගන්නවා”.
”නෑ අයිසේ ,මේ වෙලාවේ ඒවා කළොත් යූ.එන්.පී එක වාසි ගන්නවනේ”.
”ඉතින්, ඒ කාලෙත් එහෙමනේ. යූ.එන්.පී එකනේ ඒ කාලෙත් විරුද්ධ පක්ෂයේ හිටියේ”.
අන්දුන් කුන්දුන් වී ගිය මම ඇසුවෙමි.
”ඒක තමයි අයිසේ, දැන්නේ අපිට ඒක තේරුණේ. ඒ නිසා අපි වෙනස් වුණා”.
”එතකොට ‘ලැජ්ජයි’ කියලා බෝඞ් ගහගෙන යන්නේ යන්නේ මොන මඟුලකටද”?
”නෑ අයිසේ, අපේ අතීතය මතක් වුණාම අපටම ලැජ්ජයි. ඒකයි මේ”.
කියූ පර්සි මහත්තයා ඇතුළු කට්ටිය කැඳ භාජනයත් රැගෙන රෝහල පැත්තට මාරු වූහ.

No comments:

Post a Comment