Thursday, November 19, 2009

පොදු අපේක්ෂකයා

පර්සි මහත්තයා පොත් කියවයි; ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වෙයි. මේ ලක්ෂණ එකක්වත් ඇති කෙනෙක් අපේ අහල ගම් හතකින් වත් සෙවීම කළුනික සොයනවාටත් වඩා අසීරුය. ඒ නිසා පර්සි මහත්තයා ට ගමේ මිනිස්සු කියන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පහුගිය සති කීපයේම ආගිය අතක් නැතිව සිටි පර්සි මහත්තයා හදිසියේ ම අපේ නිවසට ගොඩවැදුණේ මහත් උජාරුවෙනි.
”මොකද පර්සි මහත්තයා පහුගිය කාලෙ දකින්න හිටියෙ නැත්තෙ. සහන ගම්මාන බලන්නවත් ගියාද ? ” චූටි මල්ලි කතාවට මුල පිරුවේය.
සුර-අසුර යුද්දෙන් අනතුරුව අනිවාර්යයෙන්ම අසුරයන් පරදා සුරයන් ජයගන්නා බවත්, ඉන් පසු අමෘතය ලැබී ඔවුන් අජරාමර වන බවත් පුන පුනා කී පර්සි මහත්තයා මේ දවස්වල වැඩි කතාබහකට නො එන්නේ අපට දැන් තියෙන්නේ අමෘතය නොව රුබෙල්ලා එන්නත ගහගන්නට යැයි සුරයන් පාරෙ තොටේ කියන බැවිනි.
”නෑ අයිසෙ, මට හරියට වැඩ.” මේ වෙලාවේ අපේ බල්ලාද එතැනින් යන්නට ගියේය. බල්ලට ඇති වැඩකුත් නැත; හෙමින් ගමනකුත් නැත.
”ඒක නෙමෙයි, මොකක්ද අයිසෙ තමුසෙලා මේ ජෙනරල් අල්ලගෙන නටන්න හදන භයානක නාඩගම ?” පර්සි මහත්තයා චූටි මල්ලිගෙන් ඇසුවේ මා දෙසත් හොරැහින් බලමිනි.
”මොකක්ද පර්සි මහත්තයා, ජෙනරල් හොස්පිට්ල් ද? ජෙනරල් ස්ට‍්‍රයික් ද? ” චූටි මල්ලි හරස් ප‍්‍රශ්නයක් දැම්මේය.
”ඔය කොතැනත් ක‍්‍රියාත්මක වෙන්නෙ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ තමයි. මං කිව්වේ මේ ජෙනරල් සරත් ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා කිරීම ගැනයි. ඕවා මහා භයානක වැඩ අයිසෙ. හමුදාව දේශපාලනේට ගේන එක නෙමෙයි, ඒ ගැන කතා කිරීමත් අන්තිම භයානකයි.”
”එතකොට පොදු අපේක්ෂකයෙක් ඕන නැහැයි කියලද පර්සි මහත්තයා කියන්නෙ.?”
”ඇත්ත ම කියනව නං රටම පිළිගත් පොදු අපේක්ෂකයා තමයි මහා භාරකාර තුමා. ගිය පාර කළා වගේ එතුමාගෙ දෑත් මේ පාරත් ශක්තිමත් කළා නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් ඕනම නං අයිසෙ විපක්ෂ නායකයා දාන්න පුළුවන්නේ තරෙඟට.”
”ඒ වුණාට ඉතින් පර්සි මහත්තයලාමනේ පහුගිය කාලෙ කිව්වෙ විපක්ෂ නායකයා දුර්වලය; අදක්ෂය; ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැතිය; රටට ආදරේ නැතිය කියලා. දැන් කොහොමද එක පාරටම එයා හොඳ වුණේ ?.”
පහුගිය කාලයේ එක පතේ එකට කිරිබත් කෑ පර්සි මහත්තයාත් චූටි මල්ලිත් ධ‍්‍රැවීකරණය වී ඇති තරම ගැන පුදුමයට පත්වෙමින් මම ඇසුවෙමි.
”නෑ අයිසෙ. එයා ආවත් අපි කතා කරන්නෙ එයාට විරුද්ධව තමයි. මොකද අපි පෙරුම් පුරාගෙන ඇවිත් තියෙන්නෙ මේ පොදු ජන ආණ්ඩුවට ඡන්දෙ දෙන්න. අපි ඉතින් වෙන කොහේ යන්නද? මේ නහින දෙහින කාලෙ මේකෙම වැටිල මේක මත්තෙ ම නහිනව මිසක්. මට කණගාටු අයිසෙ මෙහෙම ගියාම මධ්‍යස්ථ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න අපේක්ෂකයෙක් නැතිවෙන එක ගැනයි.” අපේ බළලා ද නොයන තැනක් නැත. ඒ ගමන ඌ එළියට පැන්නේ පර්සි මහත්තයාගේ මල්ලෙනි.
”එතකොට පර්සි මහත්තයා කියන්නෙ විපක්ෂය ඡන්දෙට ඉදිරිපත් කරන්න ඕන මධ්‍යස්ථ මිනිස්සුන්ට ඡන්දෙ දාන්න පුළුවන් කෙනෙක්. ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕන දිනන්න පුළුවන් කෙනෙක්?” චූටි මල්ලිට දැන් මළ පැනගෙන එයි.
”අන්න හරි අයිසෙ, දැන් තමුසෙට තේරුණා. පොදු අපේක්ෂකයෙක් ඕනම නං තමුසෙලාට කරන්න තියෙන්නෙ එක්කො විපක්ෂයේ ඉන්න ආණ්ඩුවට හිතවත් කෙනෙක් ඡන්දෙට දාන එක. නැත්නම් ආණ්ඩුව ඇතුළෙම ඉන්න පතෝල කරලක් වගේ මධ්‍යස්ථ කෙනෙක් ණයට ඉල්ලගෙන ඡන්දෙට ඉදිරිපත් කරන එක. සෙල්ලම ඉවර වුණාම එයාව ආපහු ආණ්ඩුවට ම භාරදෙන්නත් පුළුවන්. තමුසෙලා ට ඕන සරත් කෙනෙක් ම නං ඔය ආණ්ඩුවෙත් ඉන්නෙ.”

Back to Home...
view pdf ....

No comments:

Post a Comment