Friday, July 31, 2009

පර්සි මනාලියන් ඇන්දවීමට යයි

රූපවාහිනි යන්ත‍්‍රයේ චැනල් මාරු කරන අතර වැරදීමකින් එය අයි.ටී.එන් චැනලයට මාරු වූ වෙලාවක දුටු දැන්වීමක් නිසා මගේ ඔළුව විකාර වී ගියේය.

වෙල්ලස්සෙ මහ නිළමෙ වෙන්නට පෙරුම් පුරන බස්නායක නිළමෙ තුමන් විසින් සංවිධානය කර ඇති මනාලියන් ඇන්දවීමේ වැඩමුළුවක සම්පත්දායකයකු වශයෙන් පර්සි මහත්තයා ද සහභාගී වන බව ඒ දැන්වීමෙන් කියැවුණි. ඒ මදිවට පර්සි මහත්තයා ගේ පින්තූරයක් ද එහි ප‍්‍රදර්ශනය විය.

වහාම පර්සි මහත්තයා සොයා ගොස් මේකෙ ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා මම පාරට බැස්සෙමි. මා යන විට පර්සි මහත්තයා සිටියෙ මතට තිත තබමිනි.

"මොකක්ද පර්සි මහත්තයා, දැන් ඒ පාර මේ මනමාලියන්ට අන්දන වැඩමුළුවලටත් යන්න පටන් ගත්තද? ” මම ඇසුවෙමි.

"අයිසේ, තමුසෙලා වරද්දගෙන නේ, මනමාලියන්ට අන්දන්න මම යන්නෙ මොකටද? ඒකට එනව වෙනම නෝන කෙනෙක් ” පර්සි මහත්තයා සන්සුන් ලෙස කීවේය.

"එහෙනම්, පර්සි මහත්තයගෙ නම ටී.වී එකේ දාන්නෙ මොන කෙහෙල් මලකට ද?
"අයිසේ, මම යනව තමයි, ඒත් මම යන්නෙ එන මනමාලියන්ට අන්දන්න නෙමෙයි. එතනට එන ගමේ මිනිස්සුන්ට අන්දන්න. තමුසෙ දන්නෙ නැද්ද, මම හැමදාම කළේ අන්දන එකනෙ.”
මෙතෙක් වෙලා මාත් සිටියේ ඇඳගෙන බව වැටහුණු මම ආපසු ගෙදර බලා ආවෙමි.

Back to Home

Thursday, July 16, 2009

කටු පඳුරේ වනා ඇති රෙද්ද

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.


ඊයේ පෙරේදා දවසක මම පාර දිගේ ඇවිද යන අතර දුටුවේ පර්සි මහත්තයා රජ මාළිඟාවේ අංගනයේ සෙසු ප‍්‍රවේණි දාසයන් අතර හිඳිමින් කටු පඳුරක් උඩ වනා තිබූ රෙද්දක් හෙමින් හෙමින් පරිස්සමින් ගලවමින් සිටින ආකාරයයි. ” මේ, මේ, පර්සි මහත්තයා, මොකද මේ ලැජ්ජාවක් නැතුව රජ මාළිඟාවේ ඉඳුල් කකා වහල් වැඩ කරන්නෙ? ” පුදුමයටත්, කම්පාවටත්, ලැජ්ජාවටත් එකවර පත් වූ මම ඇසුවෙමි.” තමුසෙට පිස්සුද අයිසෙ, මම ප‍්‍රවේණි දාසයෙක් නෙමෙයි, රජතුමාගෙ පුරෝහිතයෙක් ” පර්සි මහත්තයා දෑත මිට මොළවා ගිරිය පුප්පා ගෙන කෑගැසුවේය. මට නම් ප‍්‍රවේණි දාසයන් සහ ඔය කියන පුරෝහිතයන් අතර කිසිදු වෙනසක් නොපෙනුණි.” ප‍්‍රවේණි දාසයා හරි පුරෝහිතයා හරි රජ මාළිඟාවෙනේ වැඩ. කන්නේ මාළිඟාවෙ ඉඳුල්නෙ. ඇත්තටම පර්සි මහත්තයා වාමාංශිකයෙක් හැටියට ලැජ්ජාවක් නැද්ද? ”” තමුසෙලාට තේරෙන්නෙ නෑ අයිසේ, අපි කරන්නෙ අධිරාජ්‍ය විරෝධී අරගලය. මේ වෙලාවෙ ප‍්‍රගතිශීලී බලවේගය ඉන්නේ රජතුමා එක්කයි. ඒක ගලවා ගැනීම හරිම පරිස්සමෙන් කරන්න ඕනෑ. ඒකයි මම මේ කරන්නෙ ” කියූ පර්සි මහත්තයා නැවතත් කටු පඳුර මත තිබූ රෙද්ද ගලවන්නට විය.මම ආපසු එන විටත් තවම පර්සි මහත්තයා කටු පඳුර ළඟය. මේක නම් කවදාවත් ගැලවෙන රෙද්දක් නෙවේ යැයි මට ම කියා ගත් මම ගෙදර ගියෙමි. පර්සි මහත්තයා තවමත් අතේ කටු ඇන ගනිමින් රෙද්ද ගලවනවා ඇත.

Friday, July 3, 2009

අධිරාජ්‍ය විරෝධය

පර්සි මහත්තයා පොත් කියවයි. ඉංග‍්‍රීසි කතා කරයි. ඒ මදිවට ඔහු වාමාංශිකයෙකු ද වේ. ඉහත කියු ලක්ෂණ එකක්වත් ඇති අය අපේ ගමේ දුලබය. ඒ නිසා ගමේ අය පර්සි මහත්තයා නැති තැන ඔහු හඳුන්වන්නේ ‘පිස්සු පර්සි’ කියාය.
පර්සි මහත්තයා හංදියේ කඬේ ළඟ ඇති ජෑම් ගහ යට බංකුව උඩ වාඩි වී කතාවක් පවත්වයි. කඬේ ළඟ සිවිල් ආරක්ෂක කටයුතුවල යෙදෙන චූටි මල්ලිලා අසා සිටිති.”යූ.ඇන්.පී කියන්නේ අධිරාජ්‍යවාදීන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින පක්ෂය. ඒකෙ හුළඟවත් වදින තැනකට අපි නම් යන්නේ නැහැ””ඒ වුණාට පර්සි මහත්තයා දැන් ඔහොම කිව්වට පහුගිය දවස්වල නම් ගැහුවෙ වෙන රෙකෝඞ් එකක්.””ඒ එදා ඒ මොහොතේ එතැන තත්ත්වය. මෙදා මේ මොහොතේ මෙතැන තත්ත්වය වෙනස්. පංතියට වාසිදායක ස්ථාවරය තමයි නියම ස්ථාවරය””දැන් කොහොමද තත්ත්වය වෙනස් වුණේ ? ””ඇයි අයිසේ, අයි.එම්.එෆ්. එක ඩොලර් බිලියන 1.9 ක ලෝන් එකක් ලංකාවට දෙන්න යනව නේ. යූ.ඇන්.පී එක ඒකට පක්ෂ වෙනවා කියන එක ෂුවර් නෙ. එතකොට අයි.එම්.එෆ්. ලෝන් එකට පක්ෂ අය එක්ක අපි හිටගන්නෙ කොහොමද?””ඒ වුණාට, දැන් මේ ලෝන් එක දෙන්න එපා කියලා යූ.එන්.පී එක කේලම් කියපු නිසා අයි.එම්.එෆ්. එක කොන්දේසි දමලා තියෙනවය, රටට අහිතකර කොන්දේසි යටතේ නම් කිසි ලෙසකින් මේ ලෝන් එක ගන්නෙ නැහැය කියල දැන් ආණ්ඩුව කියනවනෙ.””ඒක තමයි, අයිසේ මං කියන්නේ. ආණ්ඩුව අයි.එම්.එෆ් ලෝන් එක එපා කියනවා කියන්නෙ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධියි නෙ. ඉතින් ඒ වගේ අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවකට විරුද්ධ වෙන්නෙ අධිරාජ්‍යවාදීන්ගෙ පක්කලියො. යූ.ඇන්.පී එක ආණ්ඩුවට විරුද්ධයිනෙ. ඉතින් අපි කොහොමද යු.ඇන්.පී එකත් එක්ක එකට ඉන්නේ.”පර්සි මහත්තයා ජයග‍්‍රාහි ලීලාවෙන් කතාව අවසන් කළේය.